ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

මසරාටි ( Maserati )

මසරාටි මෝටර් රථ සමාගම 1914 දෙසැම්බර් 1 දින ඉතාලියේ බොලොග්නා හිදී ආරම්භ කරන ලදි. මසාරාටි සහෝදරයන් වන ඇල්ෆෙයරි, බින්ඩෝ, කාර්ලෝ, එටොර් සහ අර්නෙස්ටො යන අය විසින් මෙය අරබන ලදි.

වර්තමානයේ මෙහි අයිතිය ඉතාලියේ ෆියට් (Fiat) සමාගමට හිමිවන අතර මූලස්ථානය පිහිටා ඇත්තේ ඉතාලියේ මොඩෙනා හිය.
 
මසරාටි ලාංඡනය

 මසරාටි මෝටර් රථයේ වෙළඳ සංකේතය වන්නේ ත්‍රිශුලයයි (Trident). ත්‍රිශූලය වෙලඳ සංකේතය ලෙස ගැනීමට හේතුවී ඇත්තේ ඔවුන්ගේ උපන් ගම වූ බොලොග්නා හි Piazza Maggiore හි පිහිටුවා ඇති ත්‍රිශූලයක් අතදරාගෙන සිටින නෙප්චූන්ගේ පිලිරුවයි. එමගින් ශක්තිය සහ ජවය නිරූපනය වීමත් මෙන්ම තම උපන් ගම සිහිවීමත් පිණිස මෙය සංකේතය ලෙස ගැනීමට තීරනය කෙරුණි.

මසරාටි සහෝදරයන්

1937 දී පමන මසරාටි සහෝදරයන් තම සමාගම Adolfo Orsi පවුලට විකුනා දැමුන නමුත් තවදුරටත් මෝටරථ නිෂ්පාදනයට හවුල් විය. 1939 සහ 1940 වසර දෙක තුලදීම Maserati 8CTF  රථය සුපිරි Indianapolis 500 තරඟාවලිය ජය ගෙන එසේ කල පලමු ඉතාලි මෝටරථ සමාගම බවට පත් විය. 1957 දී Maserati 250F රථය ලෝක ශූරතාව දිනා ගැනීම විශේෂ සිදුවීමක් විය.

1957 සිදුවූ සිදුවීමක් නිසා මසරාටි මෝටරථ ධාවනයෙන් ඉවත් වී සාමාන්‍ය වෙළඳපොලට නිර්මාණය ඇරඹිය. එසේ වෙළඳපොළට නිකුත්කල Maserati 3500 GT රථය බෙහෙවින් ජනප්‍රිය විය.   


Maserati-3500

1968 දී සමාගම ප්‍රංශ මෝටරථ සමාගමක් වන Citroen අතට පත්විය. මෙහිදී Maserati Indy, Maserati Bora, Maserati Merak, Maserati Khamsin යන රථ වෙළඳ පොලට නිකුත් කරන ලදි. 1973 ලෝක තෙල් අර්බුදයත් සමග Citroen සමාගම බලවත් අවදානමකට මුහුණ පෑමට සිදුවිය. අවසානයේ ඔවුන් මසරාටි සමාගම වසා දමන බවට නිවේදනය කරන ලදි. එහි සේවයේ නියුතු 800 කගේ පමණ රැකියා නැතිවීමේ අවධානමකට පත්විය.කෙසේ නමුදු විවිධ පාර්ශවල මැදිහත් වීම නිසා අවසානයේ Alejandro De Tomaso මහතා සහ Benelli සමාගම මසරාටි සමාගම මිලදී ගන්නා ලදි.

Maserati 2015 Alfieri

1993 වසරෙදී Fiat සමාගම Maserati සමාගම මිලදී ගන්නා ලදී. මෙම ගණුදෙනුවද  වැඩිකල් නොපැවතුනු අතර Ferarri සමාගම විසින් 1997 දී මිලට ගන්නා ලදි. 2002 වසරේදී Maserati රථ ඇමරිකානු වෙලඳ පොලට නැවත නිකුත් කෙරුනි. 2005 දී Ferarri සමාගමෙන් නැවත වරක් Fiat සමාගම අතට පත් විය. අද වනවිට ද (2015) මෙහි අයිතිය Fiat සමාගම සතුවේ.  

වර්ෂ 2014 දී මසරාටි තම සියවස සමරන ලදි.

නොබෙල් ත්‍යාගය ( Nobel Prize )

නොබෙල් ත්‍යාගයේ නිර්මාපකයා වන්නේ ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් බර්නාඩ් නොබෙල් මහතාය ( Alfred Bernard Nobel ). සෑම වසරකම දෙසැම්බර් 10 දින රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සාහිත්‍යය,වෛද්‍ය විද්‍යාව , ආර්ථික විද්‍යාව සහ සාමය යන අංශ 6 සඳහා විශිෂ්ට සේවාවක් කල පුද්ගලයන් වෙත මෙය පිරිනමනු ලබයි.

ඇල්ෆ්‍රඩ් නොබෙල් මහතා 1833 ඔක්තෝබර් 21 දින ස්වීඩනයේ ස්ටොක්හෝම හිදී ඉංජිනේරු පවුලකට දාව උපත ලැබීය. ඔහුගේ පියා හමුදාව සඳහා යුද අවි ආයුධ නිපද වීමේ නියුතු වූ බව සඳහන් වේ. ඇල්ෆ්‍රඩ් නොබෙල් ඉතා දක්ෂ රසායන විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක් මෙන්ම නව නිපැයුම්කරුවෙක් ද විය. ඩයිනමයිට් ඇතුලු නව සොයා ගැනීම් 355 ක පමණ හිමිකරුවා වන්නේ ඔහුය. ඔහු සොයාගත් ඩයිනමයිට් මිනිස් ඉතිහාසයේ ඉතා තීරණාත්මක සොයා ගැනීමක් විය.

1888 දී ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ බාල සොහොයුරා වූ ලුඩ්විග් නොබෙල් කර්මාණ්ත ශාලාවේ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමක් අතරතුර සිදුවූ පිපිරීමක් නිසා මරණයට පත් විය. එනමුත් පුවත් පත් වල වැරදීමකින් පලවූයේ "මරණයේ වෙලෙන්දා මිය යයි" යන ශීර්ෂ පාථයෙන්  ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය බවය. මෙයින් බොහෝ දෙනා සතුටට පත් වූ අතර නොබෙල් මහත් කම්පණයට පත් විය. තමා මිය ගිය පසු ඔහු පිලිබඳ මිනිසුන්ගේ මතකයේ රැඳෙන ආකාරය පිලිබඳ බියට පත් විය.මෙය නොබෙල් ත්‍යාගය බිහිවීමට මූලිකවම පලපෑ සිදුවීම විය.

1896 දෙසැම්බර් 10 දින වයස අවුරුදු 63ක් වන විට නොබෙල් මහතා මිය ගිය අතර 1895 දී ලියන ලද ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව, ඔහු සතු මුලු ධනයෙන් 94%ක් එනම් ස්වීඩන් ක්‍රෝනා මිලියන 31ක් (ඩොලර් මිලියන 265ක්) නොබෙල් ත්‍යාගය වෙනුවෙන් යෙදවීමට කටයුතු යොදා තිබේ.

නොබෙල් ත්‍යාග පිරිනැමිම සඳහා "නොබෙල් පදනම" 1900 දී පිහිටවන ලදි.මෙය ස්වීඩනයේ ස්ටොක්හෝමහි පිහිටා තිබේ. ත්‍යාග සඳහා සුදුස්සන් තෝරාගනු ලබන්නේ නොබෙල් පදනම විසින් නොවේ. එය සිදුකරනු ලබන්නේ පත්කරන ලද විද්වත් මණ්ඩල සහ ඒ ඒ ක්ෂේත්‍රයට අදාල පිලිගත් ආයතන එකමුතු වීමෙනි. නොබෙල් සාම ත්‍යාගය පිලිබඳ නොර්වීජියානු නොබෙල් කමිටුව වගකීම දරන අතර අනෙකුත් ත්‍යාග පිලිබඳව පත්කරන ලද ස්වීඩන් ආයතන වගකීම් දරයි.

ආර්ථික විද්‍යාව පිලිබඳ නොබෙල් ගේ අවසන් කැමති පත්‍රයේ කිසිවක් සඳහන් කර නොතිබුනි. එහෙත් නොබෙල් කමිටුවේ සංකල්පයකට අනුව 1968 සිට අර්ථික විද්‍යාව පිලිබඳ ත්‍යාගයද ඇතුලත් කරන ලදි.

පලමු නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුනේ 1901 දෙසැම්බර් 10 වැනිදාය.(දෙසැම්බර් 10 යොදා ගන්නේ එය ඇල්ෆ්‍රඩ් නොබෙල් මියගිය දිනය වන බැවින් ඔහුට ගරු කිරීමක් වශයෙනි). නොබෙල් සාම ත්‍යාගය නෝර්වේ ඔස්ලෝ නුවර්දීත් අනෙකුත් ත්‍යාග ස්වීඩනයේ ස්ටොක්හෝම නුවර්දීත් ප්‍රධානය කරනු ලබයි.

නොබෙල් ත්‍යාග ලාභීන්ට රන් පදක්කමක්, සහතික පත්‍රයක් සහ මුදල් ත්‍යාගයක් හිමිවේ. සෑම වසරකම ඔක්තෝම්බර් මස දෙවන සතියේ නොබෙල් ත්‍යාගලාභීන්ගේ නම් ප්‍රකාශයට පත් කරනු ලබයි.

ස්ටෝන්හෙන්ජ් ( Stonehendge)

ස්ටෝන්හෙන්ජ් යනු එංගලන්තයේ සැල්ස්බරි වලට උතුරු දිගින් ඇති විල්ට්ශයර්හි පිහිටි ( Wiltshire ) විශාල ගල් කුළුණු වලින් නිම කරන ලද නිර්මාණයකි. මේවා ක්‍රි.පූ 3000-2000 අතර කාලයේදී එනම් මීට වසර 5000 කට පමණ පෙර නිම කරන ලද බව සැලකෙන අතර මේවා කුමන හේතුවක් මත කවුරුන් විසින් නිර්මාණය කරන ලදදැයි තවමත් අබිරහසක්ව පවතී. පුරාවිද්‍යාඥයන්ට අනුව ස්ටෝන්හෙන්ජ් අවස්ථා 3 කදී කොටස් තුනකින් නිම කර ඇත. 

පලමු කොටස ක්‍රි.පූ 3100 දී පමණ නිම කරන ලද අතර එයට විශ්කම්භය මීටර 110ක් (අඩි 360) පමණ වටකුරු වලක් ආකාරයක් විශාල ප්‍රදේශයක් අයත් වන අතර එය වටා පස් වලින් නිමකරන ලද ඉවුරක්ද දැකගත හැකිවනවා.මෙම ඉවුරේ ඇතුල් පැත්තට වන්නට වලල්ලක් ආකාරයට විහිදුනු සිදුරු 56ක් දක්නට ලැබේ. මෙම සිදුරු පලමු වරට 1666 දී ජෝන් ඔබ්‍රි නැමැත්තා සොයා ගත් බැවින් එවා අදටද ඔබ්‍රි සිදුරු ලෙස හඳුන්වනු ලබනවා.

ස්ටෝන්හෙන්ජ් ප්‍රදේශය ගුවනට පෙනෙන අයුරු

දෙවන අදියරේ නිර්මාණ අදවන විට දැකගත හැකි නොවන අතර මෙම ඔබ්‍රි සිදුරු මත හිදුවන ලද කණු මත කිසියම් දැව නිර්මාණයක් සිදුකරන්නට ඇති බව අනුමාන කරනු ලබනවා.


ක්‍රි.පූ 2550 දී පමණ ස්ටෝන්හෙන්ජ් හි තෙවන අදියර ආරම්භ කරන ලද අතර මෙහිදී පෙර ඉදිකරන ලද දැවමය නිර්මාණ වෙනුවට අදටද දැකගත හැකි ගල් කණු වලින් නිර්මාණය කරනු ලබනවා. මෙහිදී ඔවුන් විශාල වෘත්තය මැදිවන්නට කේන්ද්‍රය එකක් වන ලෙස ගල් කණු යොදා ගෙන වෘත්ත දෙකක් නිර්මාණය කරනු ලබනවා. (පසු කලෙක ඇතුලත වෘතය අශ්ව ලාඩමක හැඩයට වෙනස් කරන ලබනවා.) මේ සඳහා එකක් අඩි 13.5 උස ,අඩි 7 ක් පමණ පළල, ටොන් 25 ක් පමණ බර විශාල ගල් කණු 30 ක් විශ්කම්භය අඩි 98ක් පමණ වන වෘත්තයක් සැදෙන ලෙස තැන්පත් කරඇත. මෙම ගල් කණු දෙකක් සම්බන්ධ වන ලෙස මුදුනත තවත් විශාල ගල් කණුවක් තැන්පත් කර තිබෙනු දැක ගත හැක. මෙතරම් විශාල ගල් කණු මේ ප්‍රදේශයට කෙසේ ගෙන ආවේද යන්න තවමත් පුදුමයට කරුණකි.


ස්ටෝන්හෙන්ජ් පරිගණක චිත්‍රයකි
ස්ටොන්හෙන්ජ් කුමන අරමුණක් උදෙසා නිර්මාණය කලාද යන්න පිළිබඳ විවිධ මත පවතී. ඉන් එකක් වන්නේ මෙය පැරණි රජවරුන්ගේ සොහොන් බිමක් ලෙසය. තවකකින් කිය වෙන්නේ මෙය ඉපැරණි දෙවියන්ට පුදපූජා පැවැත් වූ දෙවොලක් බවය. එමෙන්ම මෙය ඉදිකිරීම පිටුපස කිසියම් පිටසක් ජීවීන් සමග සම්බන්ධයක් තිබූ බවටද මතයක් පවතී. කෙසේ වුවද සමහරක් විද්වතුන් මෙය ඉපැරණි සූර්ය දින දර්ශනයක් ලෙසද සලකනු ලබයි.

තවත් පිරිසක් මෙය ඉපැරණි ඩෲයිඩ් නම් පූජකයන් දෙවියන් උදෙසා යාග හෝම පැවැත්වූ පුදබිමක් ලෙස සලකනු ලබන් අතර අදටද ඔවුන්ගේ අනුගාමිකයන් වාර්ෂිකව ස්ටෝන්හෙන්ජ් වටා එක් රැස්වී පැරන්නන් කලාක්මෙන් යාග හෝම පවත්වනු ලබයි. 


යාග හෝම පවත්වන අවස්තාවකි
1986 දී පමණ යුනෙස්කෝ සංවිධානය ස්ටොන්හෙන්ජ් සහ අවට ප්‍රදේශය ලෝක උරුම ප්‍රදේශයක් ලෙස නම් කරන ලදි.

නාසා ආයතනය ( NASA )

නාසා ආයතනය 1958 ජූලි 29 දින ඇමරිකාවේ වොශිංටන් නගරයේ දී එවකට ඇමරිකා ජනාධිපතිවරයා වූ Dwight D. Eisenhower මහතාගේ මූලිකත්වයෙන් ඇරඹිනි.නාසා යන නාමය ඉංග්‍රීසියෙන් National Aeronautics and Space Administration ලෙස හඳුන්වන අතර  මුලකුරු කෙටිකර NASA ලෙස හඳුන්වනු ලබයි. මෙහි සිංහල අරුත වන්නේ "ජාතික අවකාශ තරණ සහ අජටාකාශ පරිපාලනය" යන්නයි.

නාසා ආයතනය ඇරඹීමට ආසන්නතම හේතුව වන්නේ 1957 ඔක්තෝබර් 4 දින සෝවියට් රුසියාව ලෝකයේ ප්‍රතම වරට "ස්පුට්නික් 1" නැමති චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීමයි. ඇමරිකාව මෙය තම රාජ්‍යය ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් ලෙසද තම අභිමානයට වූ කැලැලක් ලෙසද සැලකීය. ඒවන විට  ඔවුන්ගේ අභ්‍යාවකාශ කටයුතු හා පර්යේෂන සිදුකෙරුනේ 1915 දී ස්ථාපිත කරණ ලද NACA (National Advisory Committee for Aeronautics) නම් ආයතනය මගිනි. එය 1958 දී විසුරුවා හැරුනු අතර ඒ වෙනුවට තවත් පුලුල් බලතල සහ පසුකම් සහිතව නාසා ආයතනය ආරම්භ කරන ලදි.

නාසා මූලස්ථානය

මේ කාලය වනවිට සෝවියට් රුසියාව සහ ඇමරිකාව අතර අභ්‍යාවකාශ තරගය ඇරඹී තිබුනි. පළමුව මිනිසෙකු අභ්‍යාවකාශයට යැවීමේ කීර්තිය අත්කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබුනි.මේ සඳහා නාසා ආයතනය "Project Mercury" නමින් ව්‍යාපෘතියක් ආරම්භකර තිබුනි.මෙය නාසා අයතනය දියත් කල ප්‍රථම මහා පරිමාණ ව්‍යාපෘතියයි.  1961 මැයි 5 වන දින ඔවුන් Freedom 7 නම් යානයෙන්  Alan Shepard නම් ගගනගාමියා අභ්‍යාවකාශගත කොට තම අරමුන සපුරාලීය. නමුත් ඊට මසකට පෙර සෝවියට් රුසියාව  Vostok යානයෙන් යූරි ගගාරින් ( Yuri Gagarin) ආභ්‍යාවකාශගත කොට පියවරක් ඉදිරියෙන් සිටියේය.

මිනිසුන් දෙදෙනෙකු අභ්‍යාවකාශයට යැවිය හැකි යානයක් නිපද වීමේ අරමුණෙන් "Project Gemini" ව්‍යාපෘතිය 1961 දී ඇරඹුනි. මෙයට සමගාමීව මිනිසෙකු පලමුව හඳට යැවීමේ අරමුනෙන් ඇපලෝ ව්‍යාපෘතියද (Project Apollo) ආරම්භ කිරිනි. ඇපලෝ ව්‍යාපෘතියට මූලිකත්වය ගෙන කටයුතු කලේ එවකට ඇමරිකා ජනාධිපතිවරයා වූ ජෝන් එෆ් කෙනඩි මහතාය. සෝවියට් රුසියාව අභිබවා අභ්‍යාවකාශ තරගය ජය ගැනීම ඔවුන්ගේ අරමුණ විය.

ප්‍රථම සඳ තරණය

අවසානයේ 1969 ජූලි මස ඇපලෝ 11 යානයෙන් මිනිසුන් සඳමත ගොඩබස්වා නාසා ආයතනයත් ඇමරිකාවත් තම අරමුන සපුරා ගන්නා ලදි. එතෙක් මෙතෙක් තුල ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්තානය ඉදිකිරීම ඇතුලුව ලෝකයේ අභ්‍යාවකාශ පර්යේෂණ වල පෙරමුන ගෙන කටයුතු කරන්නේ නාසා ආයතනයයි.

නාසා ආයතනයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේය. 18000 කට අධික සේවක පිරිසක් නාසා ආයතනයට සම්බන්ධව කටයුතු කරයි.

අභ්‍යාවකාශ වැඩ සටහන් වලට අමතරව එය දිර්ඝ කාලීන සමාජයීය සහ යුධමය අභ්‍යාවකාශ පර්යේෂණ සඳහා ද වගකීම් දරයි. නාසා ආයතනයේ ප්‍රධානතම පාලකයා ලෙස කටයුතු කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාය. මෙමගින් සිදුකරන ලබන සියලුම අභ්‍යාවකාශ ව්‍යාපෘති වලට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය සහ උපකරණ සපයා දෙමින් ජනාධිපතිවරයා නාසාහි කටයුතු වලට සෘදුවම මැදිහත්වේ.  


Related Links:
http://en.wikipedia.org/wiki/NASA
http://history.nasa.gov/brief.html

පොම්පෙයි නගරය ( Pompeii )

පොම්පෙයි නගරය වර්තමානයේ ඉතාලියේ නේපල්ස් නගරයට ආසන්නයෙන් පිහිටි පුරාණ රෝම අධිරාජ්‍යට අයත් නගරයකි. ක්‍රි.ව 79 දී පමණ ඒ ආසන්නයේ පිහිටා තිබූ විසූවියස් ගිණිකන්ද පුපුරායාම නිසා නගරය මුලුමනින්ම විනාශ වූ අතර පිටවූ අළු නිසා මීටර 4-6 (අඩි 13-20) පමණ ගැඹුරට වැලලී ගියේය.

මෙම නගරය ක්‍රි.පූ 7 වන සියවසේ දී පමණ ඔස්කන් නැමති ජන කොට්ඨාශයෙන් ජනාවාස වීම ඇරඹුනා යැයි සැලකේ. එහි තිබූ වරාය වෙළඳාම සඳහා ප්‍රසිද්ධව තිබූ අතර පෙර කාලවලදී ගිනිකන්ද පුපුරා ගැලූ ලාවා නිසා එහි පස සාරවත් වු බැවින් මිදි හා ඔලිව් වගාව සාරවත්ව සිදු කෙරිනි.

ක්‍රි.පූ 5 වන සියවසේ දී පමණ පොම්පේ නගරය සම්නයිට්ස්වරුන් (Samnites) යටත් කරගත් අතර පසුව රෝමවරුන් යටතට පත්විය. ක්‍රි.පූ 80 දී පමණ මෙය නිල වශයෙන් රෝම අධිරාජ්‍යට අයත් කොලොනියක් බවට පත් විය.



එකල පොම්පෙයි නගරය රෝමවරුන්ගේ ජනප්‍රිය නිවාඩු කලාපයක් විය. බොහෝ ධනවත් රෝමවරුන් ඔවුන්ගේ ග්‍රීෂ්ම සෘතුව ගත කිරීම සදහා මෙහි නිවාස තනවා ගෙන තිබුන අතර ඔවුන් එම කාලය මෙහි ගත කිරීම සිදු විය. 10000 - 20000 ත් අතර ජනගහනයක් මෙකල නගරය තුල ජීවත් වන්නට ඇතය සැලකේ.

පොම්පෙයි නගරයද එවකට සාම්ප්‍රදායික රෝම නගරයක ආකෘතිය ගත්තේය. නගරයේ එක් පසක ෆෝරම් (forum) ලෙස හැදින්වූ කලාපය වූ අතර සියලුම වෙළඳ කටයුතු සිදුකෙරුන  කඩ සල්පිල්, බැංකු ආදියෙන් සමන්විත ජනාකීරණ ප්‍රදේශයක් විය.
ඒ ආසන්නයට වන්නට පුරාණ රෝම දෙවියන් වූ වීනස්, ජුපිටර් සහ ඇපලෝ වෙනුවෙන් ඉදිකෙරුණු දෙවොල් තිබී ඇත. නගරය තුලට ජලය ගෙන ඒමට ජලමාර්ග පද්ධති සකසා තිබුනි. එමගින් පොදු ජනතාවගේ ස්නානය ආදී අවශ්‍යතාවයනට  ජලය සැපයුනි.


නගර වැසියන් විනෝදකාමී ජීවිත ගත කල පිරිසක් ලෙස සැලකේ. නගරය තුල 20000 කට පමණ අසුන්ගත හැකි, ග්ලැඩියේටර්වරුන්ගේ පවා සටන් පැවති විශාල රංග පීථයක් ඉදිකර තිබුනි. ඊට අමතරව විවිධ නාට්‍ය, සංගීත සංදර්ශන මෙන්ම ආගමික උත්සව පැවැත්වීමට රංග ශාලා බොහොමයක් ඉදිකර තිබූ බව පැවසේ.

පොම්පෙයි නගරය අවට ප්‍රදේශය නිරන්තර භුමිකම්පා වලට ලක්විය. එබැවින් එය ඔවුනට සාමාන්‍ය සිදුවීමක් වී තිබී ඇත. කෙසේ නමුදු ක්‍රි.ව 62 දී පමණ ඇති වූ අති දැවැන්ත භුමිකම්පාවෙන් නගරයට මහත් විනාශයක් සිදුවිය. ගොඩනැගිලි සියල්ලම පාහේ හානියට පත් විය.ඊට වසර 17 කට පසු එනම්  ක්‍රි.ව 79 දී මහා පිපිරීම සිදුවන කාලය වන විටද මෙමගින් විනාශ වූ ගොඩනැගිලි  ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේමින් පැවති බව සඳහන් වේ.

ඒ වන විට විසූවියස් ගිණිකන්ද වසර 1800ක පමණ කාලයක් නිශ්ක්‍රීයව තිබී ඇත.මෙනිසා පොම්පෙයි වැසියන් එය ගිණිකන්දක් බව නොදැන සිටි බව සඳහන් වේ. ක්‍රි.ව 79 අගෝස්තු 24 දින ගිණිකන්ද පිපිරීම ආරම්භවී දුමාරය යන විට ද නගර වැසියන් වෙන්නේ කුමක් දැයි නොදැන එදෙස පුදුමයෙන් බලා සිටි බව සඳහන් වේ. අවසානයේ අනතුර වැටහෙන වන විට ඔවුන් බොහෝ ප්‍රමාද වී තිබුනි.

විද්‍යාඥනයන් ගණන් බලා ඇති ආකාරයට පිපිරීමේදී ගිණිකන්දෙන් සෑම තත්පරයකදීම අලු සහ ගිණියම් වූ ලාවා පාෂාණ ටොන් 1.5 ක් පමණ සැතපුම් 20ක් පමණ ඉහල අහසට විහිදී ඇත. මේවා මගින් අවට කලාපයම දුමෙන් වැසුන අතර බොහෝ වෙලාවක් යනතුරු අළු වැසි ඇති විය. ගොඩනැගිලි කඩා වැටුන අතර විෂ වායු දුම ආදිය නිසා බොහෝ දෙනෙකු ස්වසනය අපහසුතා නිසා මිය ගියේය. නගරය අඩි 20ක් පමණ සම්පූරණයෙන් අළුවලින් වැසී ගොස් ජීවිත 2000ක් පමණ විනාශ වී තිබුනි.

පොම්පෙයි නගරයේ ඛේදවාචකය ගැන තොරතුරු මුලින්ම සඳහන් වන්නේ ප්ලිනී (කනිෂ්ඨ) ( Pliny the younger) නම් එම පිපිරීම වන අවස්ථාවේ දුරින් නගරයක සිට එය නිරීක්ශණය කල පුද්ගලයෙකු විසින් ලියා තබන ලද සටහන් වලට අනුවය. පසු කලෙක ඔහු සිදුවීම පිළිබඳ ලියා තබා ඇත. තම මාමා වූ ප්ලිනී (ජෙෂ්ඨ) නම් වූ නාවුක සෙන්පතියා සිය නාවුක බල ඇණිය මිනිසුන් බේරා ගැනීමට යොදා ගැනීමේදී මිය ගිය බවද සඳහන් කර ඇත.

මෙසේ වසර 1500 කට අධික කාලයක් අතහැර දැමුන පොම්පෙයි නගරය නැවත කැණීම් මගින් 1748 දී මතු කර ගැනීම ආරම්භ විය. වාතාස්‍රය සහ තෙතමනය නොමැති නිසා ඒවා තිබුන ආකාරයටම සුරක්ෂිතව සංරක්ෂණය වී තිබුනි. 

1997 දී පොම්පෙයි නගරය සහ අවට කලාපය ලෝක උරුමයක් ලෙස නම් කරන ලදි. වසරකට සංචාරකයන් මිලියන 2.6 ක් පමණ නගරය නැරඹීමට පැමිණෙති ගණන් බලා ඇත. 


Related Links:

විටෘවියන් මිනිසා ( Vitruvian Man )

1490 දී පමණ ලියනාර්ඩෝ ඩාවින්චි විසින් මෙම චිත්‍රය නිර්මාණය කර ඇත. මෙයට පාදක කරගෙන ඇත්තේ පලමු වන සියවසේ විසූ මාර්කස් විටෘවියස් (Marcus Vitruvius) නම් ගෘහනිර්මාණ ශිල්පියා විසින් මිනිස් සිරුරේ අංග වල සමානුපාතය පිලිබඳ සටහන් කර ඇති කරුණුය.

ඔහු ලියන ලද De Architectura නම් පොත් මාලාවේ තෙවන පොතට අනුව මිනිසාගේ ශරීරාංග වල පිහිටීම ඉතාමත්ම පුදුමාකාර ලෙස සමානුපාතික වන ලෙස විශිෂ්ට බුද්ධියක් විසින් නිර්මාණය කර ඇත.මිනිස් සිරුරේ අංග එකිනෙක හා සම්බන්ධ වී ඇති සමානුපාතය යොදා ගැනීමෙන් විශිෂ්ට ගොඩනැගිලි, කලා කෘති, සංගීත නිර්මාණ මෙන්ම අනෙකුත් ඔනෑම දෙයක් හරියාකාරව නිර්මාණය කිරීමේ හැකියාව පවතී යන්න ඔහුගේ මතය විය.තවද  මිනිස් සිරුර අධ්‍යනයෙන් විශ්වයේ නිර්මාණයන් සිදුකරන ආකාරය මිනිසාට ද අනුගමනය කල හැකි බව ඔහු සඳහන් කරන ලදි.

මෙම කරුණ එකල සිටි බොහෝ දාර්ශනිකයන්, කලා ශිල්පීන් ගේ පුළුල් අධ්‍යනයට ලක්විය. 


ලියනාර්ඩෝ ඩාවින්චි, විටෘවියස් සදහන් කර ඇති කරුණු වලට අනුව ශරීර අංග වල මිනුම් හරියාකාරව යොදා ගෙන මෙම රූපය නිර්මාණය කර ඇති බැවින්, ඔහුට ගරු කිරීමක් ලෙස මෙයට විටෘවියස් මිනිසා ( Vitruvian Man ) යන නම ලබා දී ඇත

විටෘවියස් ඉහත පොතෙහි මිනිස් සිරුරේ සැලැස්ම ලෙස සඳහන් කර ඇති කරුණු කීපයක් පහත දක්වා ඇත.

අත් දෙපසට විහිදුවූ විට එය ඔහුගේ උසට සමානවේ
උරහිස් දෙකෙහි උපරිම පලල මිනිසෙකුගේ උසෙන් 1/4 ක් පමණ වේ.
අතේ වැලමිටේ සිට ඇඟිලි තුඩු වලට දිග මිනිසෙකුගේ උසෙන් 1/4 ක් පමණ වේ
අතේ වැලමිටේ සිට කිහිල්ල ප්‍රදේශයට දිග මිනිසෙකුගේ උසෙන් 1/8 ක් පමණ වේ
නිකට පහල සිට හිස මුදුනට දුර මිනිසෙකුගේ උසෙන් 1/8 ක් පමණ වේ

මිට අමතරව මිනිස් ශරීරයේ සමානුපාතය ගැන ඉතා පැහැදිලි දීර්ඝ විස්තරයක් පොතෙහි සඳහන් කර තිබී ඇත. එමෙන්ම මිනිසා දැත් සහ දෙපා මදක් දෙපසට කලවිට එවා පරිමාව ලෙස ගෙන ඇඳිය හැකි වෘත්තයත්, පාද එක ලඟට ගෙන දෑත් දෙපසට තැබූ විට ලැබෙන සමචතුරස්‍රයත් , මිනිස් නාභිය කේන්ද්‍ර කර ගත් ලක්ෂයක් වටා කේන්ද්‍රගත වන බවත් එම වෘත්තය සමචතුරස්‍රයේ පාද ස්පර්ශ වන ලෙස අන්තර්ගත කල හැකි බවත් සඳහන් කර ඇත.

විටෘවියස් ට අනුව මෙවැනි රූපයක් නිර්මාණය විය  යුතුය

නමුත් ඩාවින්චි සිය නිර්මාණය මගින් මෙය එසේ නොවන බව නිරීක්ෂණය කලේය. ඔහුට අනුව ශරීරයේ මධ්‍යය ලක්ෂය නාභිය වන්නේ ඔහු දෑත් සහ දෙපා දෙපසට වන්නට සිටින සේ සිටින විට ලැබෙන වෘත්තයේ පමණි. අනෙක් අවස්ථාවේ ලැබෙන සමචතුරස්‍රයේ මධ්‍යය ලක්ෂය වන්නේ ජනේන්ද්‍රය ප්‍රදේශයයි. මෙම නිගමනයේ නිරවද්‍යතාවය පසු කාලින ගණිතඥ‍යන්ද තහවුරු කර ඇත. 

එතෙක් මෙතෙක් කලක් මෙම චිත්‍රය ලෝකයේ ඉතා ජනප්‍රිය වූ අතර මෙහි නිර්මාණය පිලිබඳ විවිධ මතිමතාන්තර පවතී. ඉන් එකකින් කියවෙන්නේ වෘත්තය මගින් දෙවියන්,අහස,විශ්වය නැමති අපට නොතේරෙන නොපෙනෙන සකල විශ්ව ධාතුවත් එහි මධ්‍ය ලක්ෂය වූ නාභිය මගින් විශ්වයේ සියලු නිර්මාණයන් නිරූපණය වන බවත් ය. එමෙන්ම සමචතුරස්‍රය මගින් අපට පෙනෙන අප දැනට දන්නා දේත් එහි මධ්‍ය වූ ජනෙන්ද්‍රය මගින් විශ්වය තුල නැවත නිර්මාණකරුවකු ( Pro-creator ) ලෙස මිනිසාට හිමිව තිබෙන තැනත් නිරූපණය වන බවය.

ඊට අමතරව මෙමගින් සැඟවුන යම් ගුප්ත අදහසක් නිරූපණය වන බවටද මතයක් පවතී.

ඩාවින්චි මෙය චිත්‍රයට නගා ඇත්තේ පොතක පිටුවක් මත තීන්ත සහ පෑනක් භාවිතා කිරීමෙනි. ප්‍රමාණයෙන් 34.4 cm × 25.5 cm (13.5 in × 10.0 in) වන අතර අදට ද සංරක්ෂණය කර ඉතාලියේ වැනීසියේ පිහිටි  "Gallerie dell'Accademia" කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මහජන ප්‍රදර්ශනයට තබන්නේ විශේෂ අවස්ථාවල පමණි.


Related Links:
http://en.wikipedia.org/wiki/Vitruvian_Man
http://vitruvianstudio.com/about/about-our-name/

නුතන ලෝක පුදුම හත ( New 7 Wonders of the World )

හෙරඩෝටස් සහ කැලිමෙක්ස් විසින් නම් කරන ලද ඉපැරණි ලෝක පුදුම 7 ට අමතරව, 2007 දී "New 7 Wonders Foundation" නම් ස්විස්ටර්ලන්තය කේන්ද්‍රකර පිහිටා ඇති සංවිධානය විසින් නූතන ලෝක පුදුම 7 එලිදක්වන ලදි.

ලොවපුරා දැනට පවතින සුවිශේෂී සිහිවටන 200ක් මීට යොදා ගත් අතර අන්තර්ජාලය සහ දුරකථන මාර්ග ඔස්සේ වර්ෂ 2001 සිට 2007 දක්වා මත විමසීම සිදුකිරිනි. 

අන්තර්ජාලය ඔස්සේ එක් කෙනෙකුට  එක් ඡන්ද අවස්ථාවක් පමණක් ලැබුන අතර දුරකතන ඔස්සේ කෙනෙකුට කැමති ගණනක් ඡන්ද ප්‍රකාශ කිරීමට හැකියාව තිබුනි. මීට ලොවපුරා මිලියන 100ක පමණ ජන්ද ලැබී තිබුනි. ඒවා අතරින් 20ක් අවසාන වටයට තේරීපත් වූ අතර ජයග්‍රාහි සිහිවටන 7 , 2007/07/07 දින පෘතුගාලයේ ලිස්බන් නුවරදී එලිදක්වන ලදි. ඒවා පහත දක්වා ඇත.  

අයිෆල් කුළුණ ( Eiffel Tower )

ප්‍රංශයේ පැරිස් නුවර Champ de Mars හි පිහිටා ඇති අයිෆල් කුළුණ, 1889 දී ප්‍රංශ ජාතික ඉංජිනේරුවෙකු වූ Gustave Eiffel (ඔහුට අයත් ඉදිකිරීම් සමාගම) විසින් නිර්මාණය කරන ලද්දකි. ප්‍රංශ විප්ලවයේ සියවන වර්ෂය සැමරීම සඳහා 1889 දී ප්‍රංශය "World's Fair " නම් ප්‍රදර්ශනයක් සංවිධානය කිරිනි. මෙහි  ඇතුල් වීමේ දොරටුව ලෙස නොයෙකුත් නිර්මාණ සැලසුම් රාශියක් ඉදිරිපත් කර තිබූ අතර මේවා අතරින් අයිෆල් කුළුණ තෝරා ගන්නා ලදි

මෙහි දල සැකසුම නිර්මාණය කරන ලද්දේ එවකට Gustave Eiffel ට අයත් ව තිබූ සමාගමේ සිටි ඉංජිනේරුවන් දෙදෙනෙකු වූ Maurice Koechlin හා Emile Nouguier ය. පළමුව මෙය නිර්මාණය කිරීමේ දී එවකට සමාජයෙන් බොහෝ විරෝධයක් මතු විය. මෙතරම් උස කුළුණක් ඉදිකිරීම කල නොහැක්කක් ලෙස ඔවුන් සැලකීය.

වැනීසිය ( Venice )

Grand Canal
ඊසාන දිග ඉතාලියේ, වැනීසියානු වගුරුබිම් සහිත කළපුවේ පිහිටා ඇති වැනීසිය කුඩා දූපත් 117 ක එකතුවකි. මෙවා ඇළ මාර්ග 177 කින් වෙන් වී තිබෙන අතර පාලම් 409 කින් එකිනෙක හා සම්බන්ධ වී පවතී. 

වැනීසිය ජනාවාස වීම ආරම්භ වූ වා යැයි සැලකෙන්නේ විවිධ ආක්‍රමණ හමුවේ අවට රෝම අධිරාජ්‍යට අයත් විවිධ නගර වලින් සංක්‍රමණය වූවන් ගෙන්ය.

වර්ශ 400 පමණ වනවිට ඉතාලි අධිරාජ්‍යය විවිධ බටහිර මිලේච්ච
ආක්‍රමණික ප්‍රහාර වලට නිරන්තරයෙන් ගොදුරුවිය. මෙයට වඩා භයානක ලෙස මුහුන දුන්නේ ඊසාන දිග ඉතාලියේ නගරවල විසූ ජනයාය. මෙවන් ආක්‍රමණ අවස්ථාවල තම ගම්බිම අතහැර ඔවුන් ඒ සමීපයේ පිහිටා තිබූ වැනීසියා කළපුවේ ඇති වගුරුබිම් සහිත කුඩා දූපත් වලට තාවකාලිකව පැන යාම පුරුද්දක් ලෙස සිදු කිරීය. ආක්‍රමණ අවසන් වී ටික කලකට පසු ඔවුන් තම සුපුරුදු ගම් බිම් වලට නැවත පැමිනියේය.

බුගාටි ( Bugatti )

බුගාටි යනු ප්‍රංශයට අයත් මොටර් රථ නිෂ්පාදන අයතනයක් වන අතර, ඉතාලියේ උපත ලද Ettore Bugatti විසින් 1909 දි මෙය එවකට ජර්මනියට අයත්ව තිබූ Molsheim, Alsace නගරයේදී අරඹන ලදි.

Ettore Bugatti 1881 සැප්තැම්බර් 15 දින ඉතාලියේ මිලාන් හිදී උපත ලැබීය. කුඩා කල පටන්ම මොටර් රථ නිපද වීමට මහත් උනන්දුවක් කැමැත්තක් දැක්වූ ඔහු 1897 දී වයස අවුරුදු 17ක් වන විට Prinetti & Stucchi, නම් මොටර් බයිසිකල් නිපද වන ආයතනයකට බැදුනි.1900 දී ඔහුගේ ප්‍රථම මෝටර් රථය නිපද විය.මෙයට Gulinelli සහෝදරයන්ද සහය වූ අතර ඔවුන් මෙයට එකල ඉතාලියේ මිලාන් නුවර අන්තර්ජාතික ප්‍රදර්ශනයක්දී සම්මානද හිමි විය.

ඔලිම්පියාහි "සීයුස්" ගේ පිළිරුව (Statue of Zeus at Olympia)

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - හතරවන කොටස


සීයුස්" ගේ පිළිරුවේ චිත්‍රයකි
ඉපැරණි ග්‍රීකයන්ට අනුව සියලු දෙවියන්ට අධිපති වූ සියුස් දෙවියන් වෙනුවෙන් ඉදි කරන ලද මෙය අඩි 42 (මීටර 13) ක් පමණ උසකින් යුතු වූවයි සැලකෙන හිඳි පිලිමයකි. 

ක්‍රි.පූ 435 දී පමණ ග්‍රීක මූර්ති ශිල්පියෙකු වූ ෆීඩියස් ( phidias ) විසින් සාදන ලද්දකි. මෙය තැන්පත් කර තිබුනා යයි සැලකෙන්නේ පුරාණ ඔලිම්පියාහි සියුස්ගේ දෙවොලේය. (Temple of Zeus)

ලොව ඉපැරණි ලෝක පුදුම අතරටද අයත් මෙම පිළිමය සෑදීමට ෆීලියස් හට වසර 12ක් පමණ ගත වුනි යයි සැලකේ. ඔහු විසින් නිමකරන ලද මෙම පිලිමයේ තොරතුරු පුරාණ ග්‍රීක පොත පත් වල සහ ඉපැරණි කාසි වල නිරූපණ කර ඇත. දෙවොලට ආසන්න ප්‍රදේශයක ඔහුගේ වැඩ බිම පිටුවා තිබී ඇත.

හොලිවූඩ් නාම පුවරුව (Hollywood Sign)

ඇමෙරිකාවේ ජාතික මෙන්ම සංස්කෘතික සංකේතයක් ලෙසද සැලකෙන හොලිවූඩ් නාම පුවරුව "HOLLYWOOD"  sign ඇමෙරිකාවේ කැලිෆෝර්නියාවල ලොස් ඇන්ජලිස් හි පිහිටි , Santa Monica නම් කඳු පන්තියේ Lee නම් කඳු මුදුනේ පිහිටා ඇත.

මෙය 1923 දී ඉදිකෙරුන අතර එහි අරමුණ වූයේ Los Angeles Times පුවත්පත් ආයතනයේ හිමිකරුවූ  Harry Chandler ට අයත් එම ප්‍රදේශයේ  තිබු නිවාස හා ඉඩම් ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය කිරිමයි. මෙම ව්‍යාපෘතියේ නම "Hollywoodland" ලෙස ඔවුන් නම් කල අතර, එම අකුරු 13 නිර්මාණය කිරීම Thomas Fisk Goff හට පැවරුනි. 

පාම් දූපත් - ඩුබායි ( The Palm Islands Dubai )

ඩුබායි හි කෘත්‍රීම දූපත් - දෙවන කොටස 

palm jumeirah
Palm Jumeirah
Palm දූපත් යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මුහුදු තීරයේ කෘතිමව සාදන ලද දූපත් දෙකකි. මෙයට  Palm Jumeirah  සහ Palm Jebel Ali යන දූපත් අයත් වේ. පලමුව මෙය  Palm Deira නමින් තවත් විශාල දූපතක්ද සහිතව දූපත් තුනක් ලෙස සෑදීමට සැලසුම් කර තිබුනද පසුව මෙය  Deira Island නමින් වෙනස් කරන ලදි. 2014 වන විට සාදා නිම කර ඇත්තේ Palm Jumeirah නම් කුඩා දූපත පමණි.

මෙම දූපත් සංකල්පය ඩුබාහි පාලකයා වූ ෂේක් Mohammed bin Rashid Al Maktoum ගේ වන අතර, කෙමෙන් කෙමෙන් අඩුවන් තෙල් ආදායමට ඉදිරි කාලයේ විකල්පයක් ලෙස සංචාරක කර්මාණ්තය දියුණු කිරීම අරමුණ වී තිබේ. 

ඩුබායි හි කෘත්‍රීම දූපත් (Dubai Artificial Islands)

මෑත ඉතිහාසයේ මිනිසා නිර්මානය කල ඉතා අපූරු නිර්මානයක් ලෙස මෙම දූපත් සමූහය හඳුන්වා දිය හැක.මෙවා ඩුබායි නොගැඹුරු මුහුදු තීරයේ වැලි ගොඩකර නිර්මාණය කර ඇත.

මෙහි පාම් දූපත් 2ක් (Palm Islands), "ලෝකය" (The World) ලෙස නම් කරන ලද දූපත් සමූහය, "Deira" නම් දූපත් (Deira Islands)  සහ "විශ්වය" (The Universe) නම් දූපත් පිහිටා ඇත. මින් බොහෝමයක් දූපත් තවම ඉදි කෙරෙමින් පවතී. මෙවැනි දූපත් නිර්මාණය කිරිමේ අදහස පහලවී ඇත්තේ ඩුබයි හි පාලකයා වූ ශෙක් "Sheikh Mohammed bin Rashid Al Maktoum"හටය. ඉදිකිරීම් කටයුතු පැවරුනේ ඩුබායි සමාගමක් වන " Nakheel Properties " නම් සමාගමටයි. 

අවසාන රාත්‍රී භෝජනය ( The Last Supper )

මෙය 15 වන සියවස අවසානයේ පමණ "ලියනාඩෝ ඩාවින්චි" ( Leonardo da Vinci ) නම් සුප්‍රකට කලාකරුවා විසින් ඉතාලියේ මිලාන් නගරයේ "Santa Maria delle Grazie" දේවස්ථානයේ භෝජන ශාලාවේ බිත්තිය මත අදින ලද සිතුවමකි. ඩාවින්චි විසින් සිතුවම 1495 දී  ආරම්භ කර 1498 දී නිම කරන ලදයි සැලකෙන අතර එය ප්‍රමාණයෙන් අඩි 15 × 29 පමණ වේ.

මෙමගින් යෙසුස් වහන්සේ තම ගෝලයන් 12 දෙනා සමග අවසාන රාත්‍රී භෝජනය ගනිමින් සිටින අතර තුර, ඔවුන්ගෙන් කෙනෙකු තමන්ව නුදුරු දිනකදීම පාවා දෙනු ඇතැයි යන්න ප්‍රකාශ කල මොහොත නිරූපණය වෙතැයි සැලකේ. මෙවිට ඔවුන් දක්වන ප්‍රතිචාරයන් සිතුවමෙන් අපූරුවට ඉස්මතු කර ඇත.  

චීන මහා ප්‍රාකාරය (Great Wall of China)

චීන මහා ප්‍රාකාරය යනු චීනයේ උතුරු මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පූ 6 වැනි ශත වර්ෂය සහ ක්‍රි.ව 16 වැනි ශතවර්ෂය අතර කාලය තුළ අනුක්‍රමික චීන රාජ වංශයන් මගින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කොට පවත්වාගෙන යන ලද ආරක්ෂිත ප්‍රාකාරකයකි. පස්වැනි සියවසේ පටන් චීන මහා ප්‍රාකාරය ලෙස හැඳින්වෙන ප්‍රාකාර කිහිපයක් නිර්මාණය කරන ලදී. මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ ප්‍රාකාරය ඉදි කරන ලද්දේ පළමු වැනි චීන අධිරාජ්‍යයා වූ ක්වින් ෂි හුවාන් (Qin Shihuang) විසිනි. මෙහි වැඩ කටයුතු ක්‍රි.පූ 200 සහ 220 අතර කාලය තුළ සිදු වූ අතර එය වර්තමානයේ දැක ගත හැකි මින්ග් රාජ සමය (Ming dynasty) තුළ ඉදිකෙරුණු ප්‍රාකාරයට උතුරු දෙසින් නිර්මාණය කෙරුණකි. කෙසේ නමුත් මේවන විට ඉන් ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

ටජ් මහල් ( Taj Mahal )

නූතන ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන ටජ්මහල්, ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අග්‍රා නගරයේ පිහිටා ඇති සොහොන් ගැබක් ලෙස තැනවු කිරිගරුඬ මන්දිරයකි. මෙය "ෂා ජෙහාන්" (Shah Jahan) නම් මෝගල් අධිරාජ්‍යා විසින් තම තෙවන වූ දේවිය "මුම්ටාස් මහල්" (Mumtaz Mahal) සිහිවීම පිණිස  ඉදිකරන ලද ආදරයේ සංකේතයකි

1631 දී මෝගල් අධිරාජ්‍යයාගේ තෙවන දේවිය වන "මුම්ටාස් දේවිය" ඔවුන්ගේ 14 වන දරුවගේ උපත සිදුවන අතර තුර මරණයට පත්විය. මේ පිළිබඳව බලවත් කම්පාවට පත් වු අධිරාජ්‍යයා ටජ්මහල කරවු බව වංශ කථා වල සඳහන් වේ. 

"පීසා" හි ඇලවෙන කුළුණ ( Leaning Tower of Pisa )

ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන දෙව්මැදුරේ පිහිටා තිබෙන ඝණ්ටා කුළුණවන මෙය එක් පසකට ඇල්වී තිබීම නිසා ලොව පුරා අතිශය ප්‍රසිද්ධියට පත්විය. මෙය හුණු ගලින් නිමවා පිටත කිරිගරුඩයෙන් තනා තිබෙන අතර ඝණ්ටා කුටීරයද සමග මහල් 8 කින් සමන්විත වේ.  මෙසේ කුළුණ ඇලවීමට හේතුවී තිබෙන්නේ එය නිර්මාණය කරන අවස්ථාවේ යටිපස ප්‍රමාණවත් ලෙස ශක්තිමත් වී නොතිබීමයි.

පිසා හි කුළුණ නිර්මාණය වර්ෂ 1173 දී ඇරඹුන අතර  වසර 199 කට ආසන්න කාලයක් පුරා අවස්ථා 3කට නිර්මාණය කර ඇත. 1178 කුළුණේ දෙවන මහල නිමකරන අතරතුර ප්‍රථම වතාවට එක් පසකට ඇලවීම ආරම්භවිය. මෙනිසා මෙහි වැඩ කටයුතු ශතවර්ෂයක් පමන නතර විනි. නැවත 1272 පමණ කුළුණේ වැඩකටයුතු ආරම්භ වුන අතර ඇලවීම වැලැක් වීමට අනෙක් මහල් වල එක පැත්තක උස වැඩි වනලෙස නිර්මාණය කරන ලදි. ඒවන විට පසද ශක්තිමත් වී තිබුනි.

Easter දූපතේ "Moai" පිලිම ( Moai Statues - Easter Island )

Easter Island නොහොත් Rapa Nui යනු පැසිෆික් සාගරයේ පිහිටි චිලී රාජ්‍යට අයත් පොලිනීශියානු (Polynesian) දූපතකි. එය චිලී හි බටහිර ඉවුරට සැතපුම් 2300ක් දුරින් පිහිටා ඇත. මෙයට එම නම ලැබී ඇත්තේ එහි පැමිණි ප්‍රථම යුරෝපීයා වූ ලන්දේසි  ජාතික Jacob Roggeveen  1722 අප්‍රේල් 5, Easter ඉරිදාවක ගොඩ බැසි නිසාය.

මෙම දූපත, එහි පිහිටුවා ඇති "Moai" ලෙස හඳුන්වන අතිවිශාල ගල් පිලිම 887 නිසා ලොව ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත. මේවා 1100 -1680 AD අතර කාලය තුල එහි විසූ Rapa Nui ජනතාව විසින් ඉදිකර ඇතය සැලකේ.

පේරූ හි "මචූ පිචූ" නගරය ( Machu Picchu )

Machu Picchu යනු සුප්‍රසිද්ධ ඉන්කාවරුන්ගේ ජනාවාස පැවති 15 වන සියවසට අයත් පුරාණ නගරයකි. මෙය පේරූ හි (Peru), "Urubamba" නිම්නයේ අඩි 8000 පමන උසින් කඳු මුදුනක පිහිටා ඇත.

මෙම නගරය 1450 දී පමන ඉන්කා අධිරාජයෙකුවූ Pachacuti විසින් ඉදි කෙරුන බව සැලකේ. එහෙත් ඊට වසර 100 කට පමන පසු ඇති වූ ස්පාඤ්ඤ ආක්‍රමණයත් සමග මෙම නගරය අතහැර දමන ලදි. කෙසේ නමුදු නගරය පිලිබඳ ස්පාඤ්ඤනයන්ට දැන ගන්නට නොලැබුන අතර ස්වදේශික වැසියන් පිරිසක් පමනක් මෙය පිලිබඳ දැන සිට ඇත. කාලයත් සමග මෙම නගරය මුලුමනින්ම ගස් වලින් වැසී ගොස් තිබුනි.1911 දී පමන ඇමරිකානු ඉතිහාසඥ්නයෙකු වූ Hiram Bingham විසින් මෙම සැඟවී ගිය නගරය නැවත සොයා ගැනීමත් සමග Machu Picchu පිලිබඳ අභිරහස ලොවට හෙලිවිනි.