ස්ටෝන්හෙන්ජ් ( Stonehendge)

ස්ටෝන්හෙන්ජ් යනු එංගලන්තයේ සැල්ස්බරි වලට උතුරු දිගින් ඇති විල්ට්ශයර්හි පිහිටි ( Wiltshire ) විශාල ගල් කුළුණු වලින් නිම කරන ලද නිර්මාණයකි. මේවා ක්‍රි.පූ 3000-2000 අතර කාලයේදී එනම් මීට වසර 5000 කට පමණ පෙර නිම කරන ලද බව සැලකෙන අතර මේවා කුමන හේතුවක් මත කවුරුන් විසින් නිර්මාණය කරන ලදදැයි තවමත් අබිරහසක්ව පවතී. පුරාවිද්‍යාඥයන්ට අනුව ස්ටෝන්හෙන්ජ් අවස්ථා 3 කදී කොටස් තුනකින් නිම කර ඇත. 

පලමු කොටස ක්‍රි.පූ 3100 දී පමණ නිම කරන ලද අතර එයට විශ්කම්භය මීටර 110ක් (අඩි 360) පමණ වටකුරු වලක් ආකාරයක් විශාල ප්‍රදේශයක් අයත් වන අතර එය වටා පස් වලින් නිමකරන ලද ඉවුරක්ද දැකගත හැකිවනවා.මෙම ඉවුරේ ඇතුල් පැත්තට වන්නට වලල්ලක් ආකාරයට විහිදුනු සිදුරු 56ක් දක්නට ලැබේ. මෙම සිදුරු පලමු වරට 1666 දී ජෝන් ඔබ්‍රි නැමැත්තා සොයා ගත් බැවින් එවා අදටද ඔබ්‍රි සිදුරු ලෙස හඳුන්වනු ලබනවා.

ස්ටෝන්හෙන්ජ් ප්‍රදේශය ගුවනට පෙනෙන අයුරු

දෙවන අදියරේ නිර්මාණ අදවන විට දැකගත හැකි නොවන අතර මෙම ඔබ්‍රි සිදුරු මත හිදුවන ලද කණු මත කිසියම් දැව නිර්මාණයක් සිදුකරන්නට ඇති බව අනුමාන කරනු ලබනවා.


ක්‍රි.පූ 2550 දී පමණ ස්ටෝන්හෙන්ජ් හි තෙවන අදියර ආරම්භ කරන ලද අතර මෙහිදී පෙර ඉදිකරන ලද දැවමය නිර්මාණ වෙනුවට අදටද දැකගත හැකි ගල් කණු වලින් නිර්මාණය කරනු ලබනවා. මෙහිදී ඔවුන් විශාල වෘත්තය මැදිවන්නට කේන්ද්‍රය එකක් වන ලෙස ගල් කණු යොදා ගෙන වෘත්ත දෙකක් නිර්මාණය කරනු ලබනවා. (පසු කලෙක ඇතුලත වෘතය අශ්ව ලාඩමක හැඩයට වෙනස් කරන ලබනවා.) මේ සඳහා එකක් අඩි 13.5 උස ,අඩි 7 ක් පමණ පළල, ටොන් 25 ක් පමණ බර විශාල ගල් කණු 30 ක් විශ්කම්භය අඩි 98ක් පමණ වන වෘත්තයක් සැදෙන ලෙස තැන්පත් කරඇත. මෙම ගල් කණු දෙකක් සම්බන්ධ වන ලෙස මුදුනත තවත් විශාල ගල් කණුවක් තැන්පත් කර තිබෙනු දැක ගත හැක. මෙතරම් විශාල ගල් කණු මේ ප්‍රදේශයට කෙසේ ගෙන ආවේද යන්න තවමත් පුදුමයට කරුණකි.


ස්ටෝන්හෙන්ජ් පරිගණක චිත්‍රයකි
ස්ටොන්හෙන්ජ් කුමන අරමුණක් උදෙසා නිර්මාණය කලාද යන්න පිළිබඳ විවිධ මත පවතී. ඉන් එකක් වන්නේ මෙය පැරණි රජවරුන්ගේ සොහොන් බිමක් ලෙසය. තවකකින් කිය වෙන්නේ මෙය ඉපැරණි දෙවියන්ට පුදපූජා පැවැත් වූ දෙවොලක් බවය. එමෙන්ම මෙය ඉදිකිරීම පිටුපස කිසියම් පිටසක් ජීවීන් සමග සම්බන්ධයක් තිබූ බවටද මතයක් පවතී. කෙසේ වුවද සමහරක් විද්වතුන් මෙය ඉපැරණි සූර්ය දින දර්ශනයක් ලෙසද සලකනු ලබයි.

තවත් පිරිසක් මෙය ඉපැරණි ඩෲයිඩ් නම් පූජකයන් දෙවියන් උදෙසා යාග හෝම පැවැත්වූ පුදබිමක් ලෙස සලකනු ලබන් අතර අදටද ඔවුන්ගේ අනුගාමිකයන් වාර්ෂිකව ස්ටෝන්හෙන්ජ් වටා එක් රැස්වී පැරන්නන් කලාක්මෙන් යාග හෝම පවත්වනු ලබයි. 


යාග හෝම පවත්වන අවස්තාවකි
1986 දී පමණ යුනෙස්කෝ සංවිධානය ස්ටොන්හෙන්ජ් සහ අවට ප්‍රදේශය ලෝක උරුම ප්‍රදේශයක් ලෙස නම් කරන ලදි.

0 comments:

Post a Comment